1868 වර්ෂයේදී බොරලැස්ගමුව මහවත්ත ඉඩමෙන් අක්කර 1 පමණ භූමි භාගයක් දොන් පේදිරික් රුබේරු ගම්මුලාදෑනියාගේ පරිත්‍යාගයක් ලෙස ලබාගෙන කෝට්ටේ ක්‍රිස්තියානි මිෂනාරි ස්කූල් ශාඛාවක් ලෙස මෙම පාසල ආරම්භ කර ඇත. එවක ආරම්භක ආදී කතෘවරයා වන්නේ කෝට්ටේ මිෂනාරි පූජක තැන වූ ඩෞබිගින්තුමා ය. පල්ලිය සමග මෙම පාසල ආරම්භ කළ ද මෙහි ඉගෙනුම ලැබුවේ බෞද්ධ සිසු දරුවන් වූ අතර පාලි භාෂාව, සංස්කෘත, ඉංග්‍රිසි, ලතින්, සිංහල භාෂාව, ගණිතය, ඉතිහාසය විෂය උගන්වා ඇත.
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් ඩෞබිගින් පූජකතුමා මෙම රට අතහැර එංගලන්තය බලා පිටත් වූ වේලාවේ සඳහන් කළ වාර්තාවේ ඇතුළත්ව ඇත. එනම් පල්ලියේ අනුග්‍රහයෙන් ඉගෙනුම ලබන ඉහළම ශ්‍රේණීය වන 8 වන ශ්‍රේණීයේ සිසුන් ක්‍රිස්තියානි ආගම වැළද නොගැනීමයි.
1905 දී මෙම පල්ලිය සහ පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය සඳහා එකල රජය මුදල් පිරිනැමීම හේතුවෙන් අනුක්‍රමයෙන් 1943 වනවිට පාසල ඉතා දියුණු මට්ටමකට ළඟාවී ඇත. 1943 දී ශ්‍රිමත් අනගාරික ධර්මපාලතුමා ඇතුළු බෞද්ධ ජනතාවක් මෙම පාසලට පැමිණීමත් සමග මිෂනාරි පාසලට අමතරව රුබේරු ගුණසේකර දානපතිතුමාගේ හා විශ්මිරිකටු ගිරාගම නෝනා මහත්මියගෙන් පර්චස් 30 ක භූමියක් ලබාගෙන බොරලැස්ගමුව බෞද්ධ විද්‍යාලය නමින් පාසලක් ආරම්භ කර ඇත.
මෙම පාසල 1948 පසුව රජයේ ද බෞද්ධ මහජනතාවගේ ද ආධාර මත ශීඝ්‍රයෙන් දියුණු වී ඇත. 1962 වර්ෂයේ දී එකල පාර්ලිමේන්තු මන්ත්‍රි සෝමවීර චන්ද්‍රසිරි මැතිතුමාගේ යෝජනාවක් අනුව විද්‍යාලයක් ලෙස අධි ශ්‍රේණිගත කරන ලදී. එහෙත් වර්ෂ 100 පමණ පැරණි පල්ලියේ පාසල ලංකා සභා විද්‍යාලය ලෙස හඳුන්වන ලදී.
පල්ලිය මගින් පාලනය වන පාසලත් ධර්මපර්මපාලතුමාගේ අනුග්‍රහයෙන් ආරම්භ කළ බෞද්ධ පාසලත් අතර මත්භේද තිබියදී 1963 වර්ෂයේදී මෙම පාසල් 2 එකම පාසලක් බවට පත් කරන ලදී. මහා විද්‍යාලයට පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා වර්තමානයේ මහා විද්‍යාලය පැවත්වන අක්කර 3 ක පමණ භූමිය D.E. වනිගසේකර මහතාගෙන් රජය ලබාගෙන ඇත.
1985 වර්ෂයේ මෙම පාසලට පැමිණි මර්වින් රුබේරු විදුහල්පතිතුමා වසර 13 පමණ කලක් පාසලේ දියුණුවට ඉමහත් සේවයක් කරන ලදී. එතුමාගේ කාලයේ ගරු ගාමිණී ලොකුගේ මැතිතුමාගේ විමධ්‍යගත මුදලින් දෙමහල් ගොඩනැගිල්ල තනවා, පාසල ප්‍රදේශයේ සිසු දරුවන්ට හොඳින් ඉගෙන ගැනීමට හැකි පාසලක් බවට පත් කරන ලදී. 1987 වර්ෂයේ පර්ෂද මූලස්ථානයක් බවට පත් වූ මෙම පාසල ඉන් අනතුරුව නවෝද්‍යා පාසලක් ලෙස ද නම් කර ඇත. වර්තමානයේ 1C පාසලක් ලෙස දියුණු වී ඇති මෙම පාසලෙහි මේ කාලය අතරතුර විදුහල්පතිවරුන් බොහෝ පිරිසක් සේවය කර ඇති අතර විශේෂයෙන් සඳහන් කළයුතු කීප පළක් ද සිටී. R. රණසිංහ විදුහල්පතිතුමා, D.M.K.දිසානායක මහතා ආදී විදුහල්පතිවරු පාසලේ දියුණුව වෙනුවෙන් විශාල සේවයක් කර ඇත.
1860 වර්ෂයේ සිට 1960 වර්ෂය දක්වා වකවානුව තුළ මෙම බොරලැස්ගමුව ග්‍රාමයේ හා තදාසන්න ගම්වල සිසු දරුවන්ගෙන් 90% ප්‍රමාණයක් අධ්‍යාපනය ලබාගෙන ඇත්තේ ලංකා සභා විද්‍යාලයෙන් හා බොරලැස්ගමු විද්‍යාලයෙන් වීම විශේෂ කොට සැලකිය යුතුය’ මෙහි 6 ශ්‍රේණීය සිට 13 වන ශ්‍රේණීය දක්වා පන්ති පැවැත්වෙන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 300ක් පමණ වේ. වර්ෂ 2012දී මෙම පාසල නව ද්විතියික පාසල් 1000 ට තෝරාගෙන ඇති අතර. වර්තමානයේ බස්නාහිර පළාත් පාසල් 22ක් සංවර්ධන කිරිමේ ව්‍යාපෘතිය සදහා පිළියන්දල කලාපයෙන් තේරි පත්වූ පාසල් දෙක අතරට ද ඇතුළත් ය.






